සංස්කෘතිකාංගයන් ඉදිරියටත් පවත්වාගෙන යාමට මහත් පිටුබලයක්

මහනුවර හයගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති,
ඓතිහාසික බදුලු මුතියංගණ රාජමහා විහාරාධිපති,
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ,
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක
ආචාර්ය
වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහා නා හිමි

කුලියාපිටිය ශාසනාලංකාර මහා විහාරය මගින් වාර්ෂික ව පවත්වාගෙන එනු ලබන, මෙම වර්ෂයේත් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති කුලියාපිටිය දුරුතු මහා පෙරහර මංගල්‍යය වෙනුවෙන් සුබාශිංසන පණිවුඩයක් නිකුත් කරනුයේ මහත් ඕනෑකමින් යුක්තව යි.

කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුපුරුදු ව ඇති, අප රටේ පෙරහර පැවැත්වීම පෙර රජදරුවන්ගේ සිට පැවත එන ප්‍රධාන පෙළේ සංස්කෘතික අංගය කි. කුලියාපිටිය ශාසනාලංකාර මහා විහාරය මගින් වාර්ෂික ව පවත්වාගෙන එනු ලබන කුලියාපිටිය දුරුතු මහා පෙරහර ද එම සංස්කෘතිකාංගයන් ඉදිරියටත් පවත්වාගෙන යාමට මහත් පිටුබලයක් වනු ඇති බව නොඅනුමාන යි. එමෙන්ම 1920 ආරම්භ ව මෙම වර්ෂය වන විට සියක් වසක් සපුරනු ලබන මෙකී විහාරස්ථානය මගින් ප්‍රදේශයේ ජාතික, ආගමික සමාජයීය හා සංස්කෘතික ගුණාංගයන් වර්ධනය කිරීමෙහිලා සිදුකරනු ලබන මෙහෙයන් අතර මෙම දුරුතු මහා පෙරහර ද ප්‍රමුඛත්වයෙහිලා සැලකිය හැකි ය.

වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී ස්ථවිරයන් වහන්සේගේ ආදර්ශමත් දිවියට අඩසියවසක් සපිරීමත්, විහාරස්ථානයට ශත වර්ෂයක් සපිරීමත්, අනුස්මරණය සිදුකරනු ලබන මෙම වර්ෂයේ 25 වන වරටත් පවත්වනු ලබන වාර්ෂික දුරුතු මහා පෙරහර කටයුතු සර්ව ප්‍රකාරයෙන් ම සාර්ථක වේවා ! යි ප්‍රාර්ථනා කරන අතර, මෙවන් ශාසනික හා සංස්කෘතික සේවාවන් ඉදිරියටත් පවත්වාගෙන යාමට මෙම කටයුතු සඳහා දායකත්වය සැපයූ විහාරාධිපති ස්ථවිරයන් වහන්සේ ඇතුළු සැමට දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය සහ චිර ජීවනය ලැබේවා’ යි ආශිංසනය කරම්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *