වයඹ පළාතේ ම සංස්කෘතික මංගල්‍යයක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
මහානායක අග්ගමහා පණ්ඩිත
නාපාන පේමසිරි මහා නා හිමි

කුලියාපිටිය ශාසනාලංකාර මහා විහාරයේ ප්‍රථම විහාරාධිපති ලෙස කම්මට්ඨානාචාර්ය කට්ටමුරිච්චානේ සිරි සුභාරති මාහිමිපාණන් වහන්සේ වැඩවිසූහ. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ත්‍රිපිටක වාගීශ්වර ධර්ම කීර්ති ශ්‍රී සරණංකර මහාචාර්ය කබලෑවේ පියභාරති මාහිමිපාණන් වහන්සේ 1999 වර්ෂය දක්වා ම විහාරස්ථානයේ අභිවෘද්ධියට අනූපමේය සේවාවක් ඉටු කළ හ. තම ගුරු දේවෝත්තමයාණන් වහන්සේ ගේ අපවත්වීමෙන් අනතුරුව, වර්තමාන විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති ස්ථවිරයන් වහන්සේ පත් වූහ. 1970 උපත ලද පල්ලේකාගම රතනභාරති ස්ථවිරයන් වහන්සේට 2020 වර්ෂය වන විට උපතින් වසර පණහක් සපිරේ. ඉතා ක්‍රියාශීලි, බුද්ධිමත්, බහුශ්‍රැත උදාර ගුණයන්ගෙන් හා භික්ෂු ගුණාංගයන්ගෙන් උපලක්ෂිත වූ තෙරනමක් බව සිහිපත් කරනුයේ මනා අවබෝධයකින් යුක්තව ය.

1994 දී ආරම්භ කරන ලද දුරුතු මහා පෙරහරට 2020 වන විට විසිපස් වසරක් සපිරේ. තම ගුරුදේවයන් වහන්සේගේ මග පෙන්වීම අනුව සිදුකරන එම පෙරහර වයඹ පළාතේ ම සංස්කෘතික මංගල්‍යයක් ලෙස දුරුතු මහා පෙරහර ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇත. ශාසනාලංකාර මහා විහාරයට සිය වසරක් පිරීම 2020 වර්ෂයට සම්පූර්ණවීම නිමිති කොට ගෙන පෙරහරට සම්බන්ධ විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබීම ඉතා කාලෝචිත ය. වැදගත් සිහිවටනයන් ත්‍රිත්වයක් මෙම වර්ෂයට යෙදී තිබීම ශාසනාලංකාර විහාරය ලත් භාග්‍යයක් කොට සැලකිය හැකි ය.

මිහිඳු මහරහතන් වහන්සේගෙන් ආරම්භ වී විකාශනය වූ මෙරට ථෙරවාදී සංඝ සමාජය තුළ චාරිත්‍ර ධර්මයන්ට ගරු කරමින් ඉමහත් සේවාවන් සිදු කරන වර්තමාන භික්ෂු පරපුර අතර රතනභාරතී ස්ථවිරයන් වහන්සේ පැවිදි දිවිය තුළ ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා ලබමින් ආගමික සාමාජික, සංස්කෘතික වශයෙන් සිදුකරන ලද සේවාව අති ප්‍රශංසනීය වේ. එවැනි භික්ෂූන් වහන්සේලා අද සමාජයේ විරල ය. ශාසනාලංකාර විහාරය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට රතනභාරතී ස්ථවිරයන් වහන්සේ ගන්නා උත්සාහය අති විශිෂ්ඨය.

නව වසර ආරම්භයේ දී ම ශාසනාලංකාර විහාරස්ථානය නව පිටුවක් පෙරළන සංධිස්ථානයක් ලෙස, ශාසනාලංකාර, ඉතිහාසයට එකතුවනු නොඅනුමාන ය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අග්‍රාමාත්‍යවරයෙකු මෙම දුරුතු මහා පෙරහරට පැමිණෙන ප්‍රථම අවස්ථාව ලෙස ද සනිටුහන් වනු ඇත. දුරුතු මහ පෙරහර සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවායි පතන අතර, සිය වසරක් සපිරෙන ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානයට බෞද්ධ ප්‍රබෝධය තුළින් නව ජීවයක් හා ප්‍රගතියක් උදාවේවායි කියා ද උපතින් පනස් විය සපිරෙන රතනභාරති ස්ථවිරයන් වහන්සේට ත්‍රිවිධරත්නයේ බලයෙන් චිර ජීවනය සහිත නිරෝගීමත් ජීවිතයක් ගත කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරම්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *