සැමට පුණ්‍යානුමෝදනා කරමි

රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
පරියත්ති ලේඛකාධිකාරි,
ශ්‍රී ශාසනාලංකාර මහා විහාරාධිපති,
ශාස්ත්‍රපති
පල්ලේකාගම රතනභාරතී හිමි

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගර මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය දීර්ඝ ඉතිහාසයක් ඇති පුණ්‍ය භූමිය කි. බෞද්ධ අබෞද්ධ සැමට මානසික සුවයක් ලබා දෙන ප්‍රධාන ආගමික සිද්ධස්ථානය වනවා පමණක් නොව දැකුම්කළු රමණීය විහාරාලංකාරයෙන් උපලක්ෂිත ආගමික තෝතැන්න කි.

එහි ඉතිහාසය ගැන කතා කිරීමේ දී 1900 වර්ෂයේ සිට විටින් විට ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ අවශ්‍යතාවය මත ගොඩනැගෙන්නට සැලසුම් ගොඩනගමින් විත් ප්‍රභූ සැදැහැවත් බෞද්ධයන් පිරිසකගේ අප්‍රතිහත ධෛර්ය තුළින් 17,18,19 කාලවකවානුව තුළ සමිති සමාගම් බිහිවූ බව හා ධර්ම දේශනා ආදිය පවත්වා තර්ජන ගර්ජන වලට බෞද්ධ ජනකොටස් මුහුණ දුන් බව ශාසනාලංකාර විහාර වංශයේ සඳහන් වේ.

1919 පුෂ්පදාන සමිතියේ නුගවෙල අදිකාරම්තුමා ,හල්පේ බණ්ඩා රටේ මහත්තයා, අප්පුහාමි කෝරළේ මහත්තයා ආදි පිරිසක් එකතු වී පන්සල ස්ථාපිත කිරීමට සාකච්ඡා කරන ලදී. ඇස්සැද්දුම වලව්වේ අප්පුහාමි කෝරළේ මහතා ඉඩමක් පරිත්‍යාග කිරීමට ද ඉදිරිපත් විය. විවිධ ගැටුම් ඇතිවීම කරණකොට ගෙන ලයනල් ජයතිලක මැතිතුමාගේ පියා වන ඒබ්‍රහම් පෙරේරා මැතිතුමා ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්වූ බව ද සඳහන් වේ. පොලිසිය හා පොදු ජනයා අතර ගැටුම් ද ඇති විය. මේ කරුණු මත අද දිස්වන සේ ඇති විහාරස්ථානයට යාබද කුඹුරේ පිල්ලෑවේ 1919 ධර්ම ශාලාවක් ඉදිකරන ලදී. මේ කාලයේ දී ම පැරැණි විහාර මන්දිරයේ ඉදිකිරීම් ද ආරම්භ විය. 1921 ශාසනාලංකාර සමිතියක් ආරම්භකොට පොල් අතු සෙවිලි කළ බණමඩුව ඉදිකොට ධර්ම දේශනයක් ද පවත්වා ඇත. 1921-1926 කාල වකවානුව තුළ විවිධ පින්කම් සිදුකළ අතර ස්ථීර ලෙස භික්ෂූන් වහන්සේ නමක් වැඩසිටි බව සඳහන් නොවේ.

ශාසනාලංකාර සමිතියේ දායක පිරිස් මීරිගම ශාසනවර්ධන පිරිවෙනට ගොස් වස් විසීමට භික්ෂුන් වහන්සේ නමක් ලබා දෙන ලෙස එවකට එහි විහාරාධිපතිව සිටි මහෝපාධ්‍ය කදිරාගම සුමනසාර හිමිපාණන්ට ආරාධනාකර සිටියෙන් එම, විහාරයේ වැඩසිටි එහි නියෝජ්‍ය පරිවේනාධිපති ධුරය දැරූ කට්ටමුරිච්චානේ සිරි සුභාරතී වියත් බහුශ්‍රැත තරුණ භික්ෂූන් වහන්සේ ශාසනාලංකාරයේ වස්විසීමට වැඩම කරන ලදී. වස් කාලයෙන් අනතුරුව දායක පිරිසගේ ආරාධනය පරිදි උන්වහන්සේ එහිම වැඩ සිටීමට ආරාධනය භාර ගත් හ. උන්වහන්සේ මගේ අත්තා කෙනෙකු බව ද මෙහි සඳහන් කිරීම වටනේ ය. එතැන් පටන් ශාසනාලංකාර ඉතිහාසයට ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරෙන් පැවත එන විවිධ බුද්ධිමත්, උගත්, බහුශ්‍රැත පණ්ඩිත මහා තෙරවරුන් විහාරාධිපතින් වහන්සේලා සහ අන්තේවාසික මහ සඟරුවන ලෙස වැඩසිටිය හ. විශාල ආගමික නවෝදයක් උදාවිය. අද රජයට පවරාගෙන ඇති ඇස්සැද්දුම සුභාරතී විද්‍යාලය ආරම්භ කරන ලද්දේ කට්ටමුරිච්චානේ සිරි සුභාරතී මාහිමිපාණන් වහන්සේ ය.

ප්‍රථම විහාරාධිපති මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව සිය ශිෂ්‍ය කබලෑවේ පියභාරතී මාහිමියන් විහාරාධිපතිත්වයට පත්වූ හ. ශ්‍රී ශාසනාලංකාර මහා විහාර පිරිවෙණක් ද ආරම්භ වු අතර එතැන් පටන් ස්වර්ණමය යුගය ආරම්භ විය. ශාසනාලංකාර මහා විහාරය වෙහෙර විහාර වලින් සමලංකෘත විහාරාංග කරවීම ප්‍රථම විහාරාධිපති මාහිමිපාණන්ගෙන් ආරම්භ වී ඒවා දියුණු කරවීම තත් විහාරාධිපති හිමිපාණන් වහන්සේ විසින් සිදුකරන්නට යෙදුණි. ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයෙන් ආරම්භ වු ශාසනික සේවය තුළ නව විහාරස්ථාන ඉදිකරන්නට යෙදුණි. මල්වාන් ගෙදර ශ්‍රී මුනින්දාරාමය, දීගල්ල සිරි සුභාරතීන්දාරාමය, කිරින්දව නිධාංගල ශ්‍රී ශෛලබිම්බාරාමය , ඉළුක්හේන සිරි විජයසුන්දර පිරිවෙන, දික්හැර ශ්‍රී සද්ධර්මෝදය, කුලියාපිටිය ධර්මාශෝක බෞද්ධ මධ්‍යස්ථානය , කුලියාපිටිය තබ්බෝමුල්ල සිරි වර්ධනාරාමය, කරගහගෙදර, නීග්‍රෝධ ආරණ්‍ය සේනාසනය, කරඹලාන ධර්මාශෝක යන විහාරස්ථානයන් ඉදිවන්නට විය.

ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ ආධිපත්‍ය උසුලමින් 1969 සිට 1999 වර්ෂය දක්වා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය කබලෑවේ පියභාරති මා හිමිපාණන් වහන්සේ ආගමික, සාමාජීය අද්විතික මෙහෙවරක් සිදුකළ අතර උන්වහන්සේ 1994 දී දුරුතු මහා පෙරහර ආරම්භ කොට වසරින් වසරට දියුණු තත්වයට පත් කරන්නට යෙදුණි. අනුනා හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු එහි විහාරාධිපතිත්වයට පත්වුයේ ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී හිමිපාණන් වහන්සේ වන මම ය. අප ගුරු දේවෝත්තමයාණන් වහන්සේ ගෙන ආ ආගමික සාමාජිය කටයුතු නොපිරිහෙලා ඉදිරියට ගෙන එමින් ඒවා වැඩි දියුණු කරලන්නට ඉමහත් කාර්ය සාධනයක් සිදු කළ හ.

ශාසනාලංකාර මහා විහාරයේ 2020 ජනවාරි 04 වෙනි දින වෛද්‍ය සායනයක් පැවති අතර 05 වෙනි දින ලේ දන් දීමේ වැඩසටහනක් සහ පැල බෙදාදීමේ වැඩසටහනක් ද, ජනවාරි 18 වෙනි දින ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සඟ සතු දානමය පුණ්‍ය කර්මයක් ද, නොමිලයේ ඇස් කණ්ණාඩි ලබාදීමේ අවස්ථාවක් ද, ගැබිණි මව්වරුන් පනහකට අවශ්‍ය භාණ්ඩ බෙදා දීමේ වැඩසටහනක් ද, එදින රාත්‍රී 7.00 ට කඳුබොඩ සියනෑ භාවනා මධ්‍යස්ථානාධිකාරි ශාස්ත්‍රපති කම්මට්ඨානාචාර්ය දියසෙන්පුර විමල හිමිපාණන් වහන්සේගේ විශේෂ ධර්ම දේශනාවක් ද පැවැත්විණි.

ජනවාරි මස 31 වෙනි දින 25 වන වරටත් දුරුතු මහා පෙරහර විථී සංචාරය කිරීමට නියමිත ය. මෙහි විශේෂත්වය වනුයේ රාජ්‍ය නායකයකු පැමිණෙන පළමු අවස්ථාව හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් සධාතුක සර්වඥධාතු කරඬුව සුබ මොහොතින් මංගල හස්තිරාජයා පිට තැන්පත් කිරීම යි.

ඓතිහාසික දුරුතු පෙරහර සඳහා ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයෙන් සිදු කරනු ලබන මෙම සංස්කෘතික මංගල්‍යයට පින් කැමති ඔබ සැමට ශාසනාලයෙන් යුතුව ආරාධනා කරන අතර මෙම උදාර පුණ්‍ය මහෝත්සවය සඳහා ආධාර උපකාර කළ සැමට පුණ්‍යානුමෝදනාපූර්වක පින් අනුමෝදන් කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *