පුණ්‍යොත්සව රැසක් සංවිධානය කිරීම අගනා පින්කමක්

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ


ධර්මකාමී ශික්ෂිත සමාජයක් වෙනුවෙන් සංඝ පීතෘවරයාණන් වහන්සේලා ඉටු කරනුයේ සුවිශේෂී ශාසනික මෙහෙවරකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලේකාගම රතනභාරතී මාහිමිපාණන් වහන්සේ ද දැහැමි බෞද්ධ සමාජයක උන්නතිය වෙනුවෙන් එවැනි සුවිසල් ශාසනික මෙහෙවරක නිරත වෙති.

පූජ්‍ය රතනභාරති මාහිමිපාණන් වහන්සේ බුද්ධ ධර්මයේ හරය හා ගැඹුර පිළිබඳ වර්තමාන සමාජයට අර්ථ ධර්ම අනුශාසකත්වයෙන් , මගපෙන්වීමෙන් සිදුකරන මෙහෙවර ප්‍රශංසනීය ය.

කුලියාපිටිය ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ ආදි කර්තෘවර අතිපූජ්‍ය මහෝපාධ්‍යාය කට්ටමුරිච්චානේ සිරි සුභාරතී නාහිමිපාණන් වහන්සේ වැඩසිටි මෙම පුණ්‍ය භූමියට වසර සියයක් පිරීම නිමිති කොට ආගමික පුණ්‍යොත්සව රැසක් සංවිධානය කිරීම අගනා පින්කමක් ලෙස මම දකිමි.

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙම විහාරස්ථාන මූලික කර ගනිමින් සිදු කෙරුණු අතීත ආගමික මෙහෙවරත්, සමාජීය මෙහෙවරත් ගිහි පැවිදි සැමගේ සිත්සතන් සනහන සහ ආගමික භක්තිය දනවන ආකාරයට අඛණ්ඩ ව ඉදිරියට ගෙන යාමට වැඩ සිටි සියලු මහා තෙරුන් වහන්සේලා කළ කැපවීම මේ රජත ජයන්තිය සමරන මොහොතේ මම ගෞරවයෙන් සිහිපත් කරමි.

දශක දෙකකට අධික කාලයක් පවත්වනු ලබන දුරුතු මහා පෙරහර සංස්කෘතික මංගල්‍යය ද බෞද්ධ සංස්කෘතික ප්‍රගමනයට හේතු වේ. ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලේකාගම රතනභාරතී මාහිමිපාණන් වහන්සේ විසින් බුද්ධ උපස්ථානයක් ලෙස පවත්වනු ලබන මේ පුණ්‍යොත්සව මාලාවත්, පෙරහර මංගල්‍යයත්, සත්කෝරළයට පමණක් නොව මුළු රටටම ආශිර්වාදයක් වේවා යි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *