ජාතික හා ආගමික පුනරුදයේ තෝතැන්නක්

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ
උත්තරීතර මහානායක
අග්ගමහා පණ්ඩිත
කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි

අනුබුදු මිහිඳු මා හිමියන් විසින් ඇතිකරන ලද බෞද්ධ ප්‍රබෝධය මෙරට ආගමික සහ සාමාජීය පරිසරය තුළින් නව පරිවර්තනයක් ඇති කරන ලද හ. එදවස පටන් ගමයි – පන්සලයි -වැවයි-දාගැබයි යන උදාර සංකල්පය අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ත්, සමෘද්ධිය ත්, මේ යැයි මුළු ලොවට ම හඬ ගා කියන අභිමානය බවට පත්වූයේ එහෙයිනි. මෙම පරිවර්තනය, ලක්දිව ධාර්මික සමාජයක් ගොඩනැගීමට හේතු විය. තවද චිත්‍ර කලාව, සංගීතය, වෙද හෙදකම, විහාර කර්මාන්තය, ගොඩනැගිලි ශිල්පය. වාරි කර්මාන්තය සහ කෘෂි කර්මාන්තා දී ක්ෂේත්‍ර ගණනාවක් පුරා, බෞද්ධ ආභාෂයෙන් ම පෝෂණය වූයේ මේ නිසා ය.

එමෙන්ම පන්සල හා බැඳුණු දේශිය සංස්කෘතිය විදේශ ආක්‍රමික යුගවල පවා යම් පසුබෑමකට ලක්වුව ද, එහි වූ සුවිශේෂි සබැඳියාව නිසා ම අප රට යළිත් පුනර්ජීවයක් ලද්දේ ය. එනයින් බලන කල දෙස – බස – රැස රැක ගැනීම වස් මහා සංඝයා වහන්සේගෙන් මෙරට ජනතාවට සිදුවු සේවය සහ ආදර්ශය, යළි යළිත් අප විසින් ගෞරවයෙන් සිහිපත් කළ යුතු වන්නේ එබැවිනි. ගිහි පැවිදි ජනතාව අතර වසර දහස් ගණනක් පුරා විහිදෙන මේ ශක්තිමත් බැඳීම අද දවසේ ද එකසේ රැකගෙන ඒම ඉතා ප්‍රශංසනීය ය . මේ අනුව බලන කල වසර සියයක ඉතිහාසයකට උරුමකම් කියන කුලියාපිටිය – ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය ද ඉහතින් සඳහන් කරන ලද ජාතික හා ආගමික පුනරුදයේ තෝතැන්නක් බව කිව යුතුව ඇත. එමෙන්ම එහි වර්තමාන විහාරාධිපතින් වහන්සේ වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියප්ති ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී නාහිමිපාණන් වහන්සේගේ පනස් වන උපන් දිනය සැමරීම, ශාසනාලංකාර විහාරස්ථ දුරුතු මහා පෙරහරට වසර විසි පහක් සම්පූර්ණ වීමත්, ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය සිය වසක් සැමරීමත් යන ත්‍රිවිධ අවස්ථාවන් සැමරීම 2020 නව වසරේ දී කුලියාපිටිය ප්‍රදේශවාසී බෞද්ධ ජනතාව ට සුවිශේෂී ආගමික උද්‍යෝගයක් බව නොකිව මනාය. “තමාගේ ධර්මානුගත පැවැත්ම නිසා ධාර්මික පී‍්‍රතිය බහුල කොට ඇති බුදු සස්නෙහි පැහැදුණු භික්ෂු නම සංස්කාරයන්ගේ සංසිඳලීම නම් වූ ශාන්ත සැපය ලබන්නේ ය.” යනු බුදු වදනට අනුව පල්ලේකාගම රතනභාරතී ස්ථවිරතුමන් ද, තම අශ්මදාචාර්ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායයේ අනුනායක පණ්ඩිත මහාචාර්ය කබලෑවේ ශ්‍රී පියභාරති මාහිමිපාණන් වහන්සේගේ අඩිපාරේ යන, ගුරු ගෞරවය සියතින් දරාගෙන ශාසන චිරස්ථිතිය උදෙසා කැපවුණ සුපේෂල ශික්ෂාකාමී තරුණ හිමිනමක් බව සඳහන් කළ යුතු ව ඇත.

ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයෙහි දායක සභාව , පෙරහර කමිටුව, සමිති සමාගම් සහ සංවිධාන සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සහාය ද අපේ පල්ලේකාගම රතනභාරතී මාහිමිපාණන් වහන්සේට ලැබීම නිසා උන්වහන්සේ විසින් කරගෙන යනු ලබන ආගමික සහ ශාසනික සේවාවන් තව තවත් දියුණුවීමට බලපා ඇති බැව් නොකියාම බැරි ය. බෞද්ධ සිද්ධස්ථානවල පවත්වනු ලබන සාම්ප්‍රදායික දාන, සීල, භාවනා ආදී පින්කම් ආදියට අමතර ව බෞද්ධ ජනතාවගේ පමණක් නොව අන්‍යාගමික ජනතාවගේ ද ආකර්ශනය සහ සබැඳියාව ඇතිකර ගැනීම සඳහා පෙරහර විශේෂාංගය ද මහත් අත්වැලක් වී ඇත. විශේෂයෙන් ම අපගේ දේශිය අනන්‍යතාවය රැකෙන, මෙවන් වටිනා සංස්කෘතික අංගයන් තුළින් අද රටට අවැසි සහජීවනය සහ සබැඳියාව ඇතිකර ගැනීමට නිතැතින් ම හේතුවනු ඇත. විසි පස් වසරක් පුරා ඉතා විශිෂ්ට වූ සංස්කෘතික අංගයක් වශයෙන් පවත්වාගෙන එනු ලබන දුරුතු පෙරහරට පස් විසි වසර සැමරීම, ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ ශත සංවත්සරය සැමරීම, පල්ලේකාගම රතනභාරතී මාහිමිපාණන් වහන්සේගේ පනස් වැනි ජන්ම දිනය සැමරීම ඉතා උදාර ශාසනික ක්‍රියාවක් බව පැසසුම් මුවින් කිව යුතුව ඇත.

මෙවන් මාහැඟි වැඩසටහන් ඉදිරියේ දී ද පැවැත්වීමටත්, අවශ්‍ය ශක්තියත්, බලයත් පූර්ණ මහජන සහයෝගයත්, ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී නාහිමිපාණන් ප්‍රධාන දායකකාරකාදීන්ටත් අදාළ සංවිධායක මණ්ඩලයටත් නොඅඩුව ලැබේවා ! යි ද ප්‍රාර්ථනා කරම්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *